Saturday, April 27, 2013

අම්මා

පුංචි දේටත් දුක දැනී
නුඹේ අස්සේ ඇලි ගැලී
උන්නු දා විඳි සුවය මතකයි
කිරි සුවඳ වාගේ

උස් මහත් වෙන්නට කලින්
නුඹ ගියා වගෙ හොරු අරන්
නොවිඳි සෙනෙහස එවාපන් මට
හීනෙකින් වාගේ

හයිය කරඳඩු සෙල් මෙනී
හිතේ ඇවිලෙති ලැව් ගිනී
නිවන්නට වෙන පැන් සමත් නැත
නුඹෙ සෙනෙහෙ වාගේ

හිත පිරුණ කඳුළැලි පවන්
මුවා කරනට ආදරෙන්
අදත් හීනෙන් ඇවිත් යනවද
පුංචි දා වාගේ


Friday, April 26, 2013

ඇත්ත කතාව

ආදරය කෑදරය
ඇතොත් ලඟ තව මදිය
නැතොත් කන් කෙඳිරිලිය
කිසිම නිවනක් නැතිය

ආදරය කරදරය
තුට්ටු දෙකටම විදිය
කොතෙක් කලමුත් විරිය
ගැලවුමක් එහි නැතිය


Thursday, April 25, 2013

පුරුදු පෙම...

ඔයා හඳ වගේ
ඈත ආකසෙ ඉඳන්
ආඩම්බර කමට හිනාවෙනවා
මං ඉතිං මට විතරයි කියල හිතන්
සැනසෙනවා

හඳ ඔයා වගේ
හිටපු ගමන් වලකුළු වලට හැංගිලා
අතුරුදහන් වෙනවා
මං ඉතිං ආයෙමත් දකිනකන්
ඇඟිලි ගනිනවා

අදත් එදා වගේ
මං තාම ඔය දෙන්නා ගැන
කවි හදනවා
ඔයා බැබලෙන්නෙ ඉර එළියෙන් කියලා
අමතක කරනවා

උඹ දන්නවනම් ...

බලන් උන්නා මං හිත පෑරෙනකන්
ඔය කියන තම් රහද බලන්න
උඹේ පපුව දිගේ නටන
අහංකාර දා බිංදුවක්

ඇඟිලි ගැන්නා මං අමතක වෙනකන්
ඔය ඇස් දෙකෙන් ඇනලා
මරා දාපු බව මාව
දසදහස් වාරයක්

කියාගත්තා මං තේරුම් යනකන්
උඹේ හුස්මෙන් ඇවිලුන ගින්න
නිවන්න යන බව
කල්ප කාලාන්තරයක්

ලියාදුන්නා මං උඹ ඉන්නවනං
ජීවිත බුක්තිය අමතක කරලා
මගේ එකම හිත
නැතුවට රජ මාලිගාවක්

ගැට

හිතල මතල
පොරබදලා වෙහෙසිලා
එකින් එක ලෙහෙනවිට
කාලයක් තිස්සෙ පැටලිච්ච ගැට
දන්නෙම නැතුව හැදෙනව
තව බෝලයක්
අර අමරුවෙන් ලෙහෙපු
නූලෙන්ම
අලුත් ගැට ගොඩක් එක්ක...


පිහිට

ලයිට් කපලා බ්ලොක් එකේ කවදාවත් නැතුව
හිතපු නැති වෙලාවක
ඉටිපන්දමක්, ටෝච් එකක් තියා
ගිනි කූරක්වත් නෑ අහලක...
හීතලේ ගැහුනට
එළිය නම් තියෙනවා යසට
පෝය හඳ ඇවිත් පාරට
කපනවා කලුවර හරි හරියට...
අමුතුම ලෝකෙක හිටියට
අපිත් මහා උජාරුවට
වෙන මුකුත් නැති උනහම
පරණ හඳ විතරයි
උන්නේ පිගිටට...

(2011 වසරේ සීතල දිනෙක බහරේන්හී අදිලියාවල මගේ කාමරයේ විදුලිය ඇණහිටි වෙලාවක ලියැවුණ සිතිවිල්ලකි)


බලාපොරොත්තුව

මුදු සුලඟ සිත ලඟම
දැවටෙමින් හමනවා

සිත තවම නුඹ නැතුව
උණුහුමින් තැවෙනවා

දෙනෙත් මත දහස් වර 
නෙක පියුම් පිපෙනවා

නෙලන්නට හිතෙනවා 
නමුත් කල් බලනවා


පුංචි සමනළයා

පුංචි දළඹුවා දන්නෙම නැතුව ලස්සන සමනළයෙක් උනා. ඉස්සර අහක බලපු උදවිය දැන්නම් වර්ණනා කරන බව පුංචි සමනළයට තේරුණා. කොළ කන්න දෙන්නෙ නැතුව බෙහෙත් විදලා දුම් ගහලා යාළුවො ටික නැති කරලා දානකොට බොහොම අමාරුවෙන් හැංගිලා පණ ගැටගහගත්ත හැටි දන්නෙ තමං විතරක් බව පුංචි සමනළයට මතක් උනා. එදා නැති හාදකම් අද මොකටද කියලා හිතිච්ච පුංචි සමනළයා තමන්ට කන්න දීපු ගහේ පිපිච්ච ලස්සන මලකින් රොන් අරගෙන ඈතට ඉගිල්ලිලා ගියා.

මොනවා උනත් තමන්ගෙ ලස්සන ගැන අනිත් අය වර්ණනා කරද්දි හිතට පොඩි ආඩම්බරයක් දැනිච්චි පුංචි සමනළයා ආයෙත් වෙලාවක පොඩ්ඩක් ඇවිත් යන්න ඕනි කියලා හිතාගත්තා. පරණ කෝන්තර මොනවා තිබුනත් පුංචි වර්ණනවක් ඇහෙද්දි හිත කොච්චර රැවටෙනවද කියලා තේරුම් ගන්න තරම් පුංචි සමනළයට තාම දැනීමක් නෑ. පුංචි කාලෙ හිතට  දැනුණ දුක තුනී  කරගන්න ගිහින් ආපහු පාරක් වැරදිලා කාගෙ හරි ගොදුරක් වෙන්න වෙයි කියල හීනෙකින්වත් පුංචි සමනළයා හිතුවෙ නෑ. තමන් විතරයි දුක් වින්ඳෙ කියල හිතගෙන උන්නට මේ ලස්සනට ඉගිල්ලෙන හැම සමනළයම ඒ විදියට දුක් වින්ඳබව දැනගන්න පුංචි සමනළයට කවදාවත් බැරි උණා.