Tuesday, May 21, 2013

සිහිනය

නිල් සයුර මත නැගුන
ධවල දළ රළ නුඹයි
තනි අහස එකළු කළ
උදුල සඳවත නුඹයි
මියෙන රළු පොළොව මත
වැටුණ පිනි බිඳ නුඹයි
සැබෑ නොවෙතැයි සිතූ
මගේ සිහිනය නුඹයි


පැතුම

සොඳුරු සඳ බැසගිහින්
කළුවරයි ජීවිතය
තරු පොකුරු කෙලෙසනම්
මකන්නද කාන්සිය

දෑස දස අත බලයි
සුසුම් වැල් ඉකි ගසයි
සිහිනෙකින් මිස දිලෙන
නුවන් යුග හමු නොවෙයි

ගිලන් වී මියැදෙනා
පැතුම් මල් පොදි අතර
නැවුම් කැකුළක් කෙදින
යළිත් විකසිත වෙයිද

ගිනියම්ව දැවෙන හද ගැබට
සිසිලක් දෙන්න
සිහින් පොද වැස්සකට
ඉඩක් ඇත්තෙම නැද්ද


ඔබ, මා, අද

මා මලක් විය පෙති දරාගෙන
සැඩ හිරුට නෙත් අගින් හිනැහුන
නුඹ ඇවිත් සුළඟක් වගේ මට
තනිය දී පෙති තලා පොඩි කර

දුර ඈත හද අරන් ගිය සඳ
මගේ ජීවය නැතිවුනා මට
වියළි විසිරුන ලෝකයක් තුළ
වෙනත් කිසිවෙක් නැහැ ඔබම මිස

බඳින්නට සිතුවිලි හදක් නැත
නෙතක් ඇතිමුත් කඳුළු කැට නැත
සිනාවත් අමතක කරන් මට
ගියා ඔබ මුළු ලොවට රහසෙම

දැනෙයි ඔබහට හදක් මල වග
නමුදු හද මිස මා මලේ නැත
යළි යළිත් ඉපදී අතීතෙක
නැවත මියයමි වර්තමානෙක


නුඹ

අමාවක දා හඬන
සඳ නොමැති අහස් ගැබ
වගෙයි මා සිත් අරණ
වරක් නුඹ නුදුටු කල

ආදරේ අමිලවූ සලකුණ
පළිඟුයෙන් කල ටජ් මහල නොව
නුඹට පුදකල මහද මඩලත
ආදරෙන් ඇඳි නුඹේ රුව මිස

ජීවිතේ ගිම් නිවන මංසල
සිත වශීකල නුඹේ රුවමය
පාළු නුබ ගැබ එලිය කරවන
සඳට වැඩියෙන් අගෙයි නුඹ මට

Monday, May 20, 2013

මතකය

මන බැන්ද සිත් අහස
සැරිසරන මතකයට
ඉඩ දෙන්න සමුගන්න
හිරු නොරිසි සඳු විලස

කුමුදු මල් අරණ මත
දිලෙන ලෙස සරා සඳ
පායාවි මසිත අග
හෙටත් යලි ඔබේ සුවඳ

Friday, May 3, 2013

එක වැස්සක

කාලෙකට පස්සේ
මගේ හිත අස්සේ
පිපෙන තණ බිස්සේ
සිහිල නුඹමැයි අකල් වැස්සේ

ජීවිතේ සද්දේ
නුඹෙන් නොවැ ලද්දේ
මලවි හී විද්දේ
අහස දෙදරන ගිගුමි මැද්දේ

හීනයක් මත්තේ
වහින මල් ඇත්තේ
ලවන් සිප ගත්තේ
වසත් සුළඟිනි දෙනෙත් පැත්තේ