Saturday, May 7, 2016

කල් මැරූ කාලය

වහිනකං මං උන්නා
ඇඟිලි රතු වෙනකන් ගැන්නා
ගිම්හාන කාලයට
යලි නොඑන ලෙස බැන්නා

වැහි බිංදු දුක් දුන්නා
ඒ බරට හිත රිදුනා
වස්සාන කාලයම
නෙත් මත්තෙ ඇද හැලුනා

පාලුවට කවි ගෙතුනා
ඔබට ඇහෙතැයි සිතුනා
සීතලට ගල්ගැහුන
ඔය හිතේ අද්දරම රැඳුනා

මියෙන හුස්මක රැඳෙනා
මතක ඇතිබව දැනුනා
මල් පිපෙන වසන්තය
ඔබට නොව මට මග හැරුනා
 



Sunday, November 22, 2015

උගස

කඹුරලා කාලාන්තරයක්
පොදිගහපු හීන අහුරක් 
දුන්නා උගසට උඹේ අතටම 
හිතේ අගහිඟ මැකෙන ගානට 

තේරුම්ගියා පහු වෙනකොට
සින්නවෙන බව මටත් නොදැනිම
උඹ ඉල්ලන ගිනි පොලියට 
දෙන්න තව මට හීන නැතුවට

Saturday, September 19, 2015

පොද

අඳුර එළිය අතර පැතිර 
බිඳුණු පොදක සිසිල දැනුන 
විසිරි සිතක පතුලෙ රැඳුන
මතක ඉපදී මැරෙන අරුම

Friday, February 21, 2014

මනාපෙ

සිංහ වංසෙන් ආව මට
හරි අමාරුයි ඇස් පියන් ඉන්ට
අවුලන්න උඹේ ජාතික කැක්කුම
ආව මන් ගේ දොරකොඩටම

දීපන් මටත් දෙක තුනක්
පිස්සුද එහෙමත් අමතක වෙයිද බන්?
ඔව් ඔව් අපෙ සීයා ඉපදුන ගම මේක
හිටියට මං දැන් දුර ඈත කොලඹ රට
ගමේ කැක්කුම පපුවෙ පැත්තක
නිතර දෙවොලේ මෙහේ නාවට

උඹේ එකා ටවුමෙ ජාතිකේට
අපේ එකාටත් හොඳ කලක් යන්ඩ
ගමේ පාරට තාර ටික
මගේ රෝද හතර නොගෙවෙන්ට
දූෂනේට මතට තිත
හීන් අඩියක් කැන්වසින් කාලෙට

ගමේ කොල්ලන්ට ෂුවර් ජොබ් ටික
කැලේ කපන්නෙ අලුත් හෝටලේට
බොක්කෙන්ම මං ගමට වැඩ
මරණෙට පිංකමට ඕනි මගුලකට
යැව්වොත් මාව මහ සබාවට
ගොඩ තමයි ඉතිං හතර වරිගෙම
නෑ නෑ හරියට ඇහුනෙ නෑ උඹට
මං කිව්වෙ ජය මුලු ගමටම

Tuesday, May 21, 2013

සිහිනය

නිල් සයුර මත නැගුන
ධවල දළ රළ නුඹයි
තනි අහස එකළු කළ
උදුල සඳවත නුඹයි
මියෙන රළු පොළොව මත
වැටුණ පිනි බිඳ නුඹයි
සැබෑ නොවෙතැයි සිතූ
මගේ සිහිනය නුඹයි


පැතුම

සොඳුරු සඳ බැසගිහින්
කළුවරයි ජීවිතය
තරු පොකුරු කෙලෙසනම්
මකන්නද කාන්සිය

දෑස දස අත බලයි
සුසුම් වැල් ඉකි ගසයි
සිහිනෙකින් මිස දිලෙන
නුවන් යුග හමු නොවෙයි

ගිලන් වී මියැදෙනා
පැතුම් මල් පොදි අතර
නැවුම් කැකුළක් කෙදින
යළිත් විකසිත වෙයිද

ගිනියම්ව දැවෙන හද ගැබට
සිසිලක් දෙන්න
සිහින් පොද වැස්සකට
ඉඩක් ඇත්තෙම නැද්ද


ඔබ, මා, අද

මා මලක් විය පෙති දරාගෙන
සැඩ හිරුට නෙත් අගින් හිනැහුන
නුඹ ඇවිත් සුළඟක් වගේ මට
තනිය දී පෙති තලා පොඩි කර

දුර ඈත හද අරන් ගිය සඳ
මගේ ජීවය නැතිවුනා මට
වියළි විසිරුන ලෝකයක් තුළ
වෙනත් කිසිවෙක් නැහැ ඔබම මිස

බඳින්නට සිතුවිලි හදක් නැත
නෙතක් ඇතිමුත් කඳුළු කැට නැත
සිනාවත් අමතක කරන් මට
ගියා ඔබ මුළු ලොවට රහසෙම

දැනෙයි ඔබහට හදක් මල වග
නමුදු හද මිස මා මලේ නැත
යළි යළිත් ඉපදී අතීතෙක
නැවත මියයමි වර්තමානෙක